Saturday, February 11, 2012

◄ මුහුදු කොල්ලකරුවෝ ►

මුහුදු කොල්ලකරුවෝ කියපු ගමන්ම මුලින්ම මතක් වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඇත්තටම කවුද? කැප්ටන් ජැක් ස්පැරෝව නේද? ඔව්. පයිරෙට්ස් ඔෆ් දි කැරබියන් (Pirates of the Caribbean) කියන ජනප්‍රිය චිත්‍රපටියේ ප්‍රධාන චරිතය. එත් අද කියන්න යන්නේ පයිරෙට්ස් ඔෆ් දි සෝමාලියන්(Somali Pirates). ඔවුනුත් අර තරමට ලොව පුරා ජනප්‍රිය පිරිසක්. ඒ කප්පම් ලබා ගැනීම් වලට තමා.

මේ ගැන තොරතුරු හොයලා බලන්න තවත් හේතුවක් වුනේ පසුගිය වසරේ 2011 ශ්‍රී ලංකාවේ මීගමුවෙන් මුහුදු රැකියාවේ ගිය බහු දින ට්‍රෝලර් යාත්‍රාවක් හා එකේ ගිය ශ්‍රී ලංකා ධීවරයන් පිරිසක් පැහැර ගෙන කෝටි 68 ක් වු කප්පම් මුදලක් ඔවුන් වෙනුවෙන් මේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ඉල්ලා සිටීමයි. ඔබත් බොහෝ විට විවිධ මාධ්‍ය ඔස්සේ මේ ගැන අහන්න දකින්න ඇති.

''මීට කලින් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් වූන ශ්‍රී ලාංකික නැව් කපිතාන්වරයෙක් ද නිදහස වී නැවතත් මෙරටට පැමිණීමට තරම් වාසනාවන්ත වූයේය. එදා වේල උපයා ගෙන දිවි ගෙවන අසරණ මේ ධීවරයන් හයදෙනාටත් ඒ වාසනාවම උදා වේවා කියලා අපි හැමෝම එක සිතින් ප්‍රාර්ථනය කරමු.''

වසරකට ආසන්න වශයෙන් 22,000ක් වත් නැව් යන එන ඒඩ්න් බොක්ක හරහා ඉන්දියානු සාගරය, රතු මුහුද, අරාබි මුහුද, මධ්‍යධරණීය මුහුද හා සුවස් ඇළ මාර්ගයට කේන්ද්‍ර වන ස්ථානයක් වන මේ ඒඩ්න් බොක්ක ප්‍රදේශයේ සිට දැනට අවුරුදු 20 කට ආසන්න කාලයක සිට මෙම කොල්ලකෑම් කප්පම් ගැනීම් සිදුකර ගෙන යයි. ඔවුන් මුලින්ම මෙලෙස කල්ලි ගැසී ඇත්තේ අනවසරයෙන් තමන්ගේ මුහුදු සීමාවේ මත්ස්‍යය සම්පත ගෙන යන නැව් හා බෝට්ටුත්, ඒවායින් තම මුහුදු සීමාවට එකතු කරන අපද්‍රව්‍ය දැමීම වැලැක්වීමටත් එරෙහිවයි. පසුව එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් ලෙස දැනීමත් සමඟ සෝමාලියානු වෙරල ප්‍රදේශයේ ජීවත් වන 70% ක පිරිසක් මේ වන විට මෙම කල්ලි වලට එකතුව සිටී. 1990 ආරම්භ වුන ලෙස සැලකෙන මෙම කල්ලි ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවලු. සාමාන්‍යයෙන් අවු. 25-35 පුද්ගලයින් ඉන්න මෙම කල්ලිවල පිරිස 1000-1500 ක් විතර වෙනවා කියලයි කියන්නේ.

1990 ඉදලා සෝමාලියාවේ හරියාකාරව නොතිබුනු දේශපාලන තත්වයත් දැනටත් රට කොටස් වලට බෙදී තිබීමත් රටේ ආරක්ෂාව සඳහා සිටින හමුදා නිලධාරීනුත් මේ කල්ලිවලට සහයෝගය හා සමාජිකයන් වි සිටිමත් හින්දා මෙය මර්ධනයට ඒ රටටම අපහසු වෙලා. පසුගිය වසර වල ඔවුන් නැව් හා යාත්‍රා සඳහා එල්ල කල ප්‍රහාරයන්, පැහැර ගැනීම කාලයත් සමඟම විශාල වශයෙන් වැඩිවෙලා.

දන්නවාද???
2007 දි නැව් 50 ක්, 2008 දී නැව් 111ක්, 2009 දි ඔවුන් නැව් 217 කට පහර දීලා නැව් 47ක්ම පැහැර ගෙන ගිහිල්ලා. ඒ නැව් නැවත ලබා ගන්න නැව් අයිති ආයතන ඩොලර් මිලියන 60කට වඩා ගෙවලා. 2010 දි නැව් 219 කට ප්‍රහාර එල්ල කරමින් 49ක්ම පැහැර ගෙන ගිහිල්ලා. වාර්තා වෙන අන්දමට 2011 මුල් මාස කිහිපයේ විතරක් නැව් 90 කට පහර දීලා 15 ක්ම පැහැර ගෙන ගිහින්. මේ පහර දීම්, පැහැර ගැනීම් වලට අමතරව ඒවායේ ගමන් කරන පුද්ගලයින් ප්‍රාණ ඇපයට තබා ගෙන ඒ සඳහා කප්පම් ඉල්ලීමත් තවත් එක් මුදල් හොයන ක්‍රමයක්.

2010 වසරේදී මෙවැනි ප්‍රාණ ඇපයට තබාගත් 1090 ක් දෙනා සිට ඇති බව සඳහන් වෙනවා. ඒ නැව් වගේම සාමාන්‍ය යාත්‍රා කොල්ලකෑමෙන්. 2010 දී මෙවැනි යාත්‍රා 4185 කට පහර දී ඇත. ලොව පුරා නැව් සමාගම්, රටවල් මෙය නැවැත්වීමට උත්සහ ගත්තත් එයට තවත් අපහසුතාවයක් වෙලා තියෙන්නේ ඔවුන් සතුව තියෙන නවීන අවි ආයුධ.

යේමනය වගේම ඔවුන්ගේ අගනුවර වන මොගඩිෂු වලින් ලබා ගන්නා කප්පම් මුදලින් කොටසක් වැයකර අලුත්ම අවි ආයුධ ගන්නා අතරම, කැනඩාවේ වාසය කරන ලක්ෂ 2ක් පමණ වන සෝමාලියානු ජාතික පිරිසද මේ අවි ආයුධ, උපකරණ ලබා දීමට උදව් කරනවලු. මේ කොල්ලකරුවන් ළඟ AK 47, AKM, RPG රොකට් ලෝන්චර්, අත් බෝම්බ විදින, රාත්‍රී දුරදක්න ආදියද, දියුනු සන්නිවේදන උපකරණත් තියෙනවා.

කප්පම් මුදල් ලබා ගැනීමට ඔවුන් එක් එක් ක්‍රම භාවිතා කරන අතර ඉන් එක් ක්‍රමයක් වන්නේ වතුර උඩ පාවෙන ලෙසත්, වතුර කාන්දු නොවන විදිහටත් සැකසු මලු වල මුදල් අසුරා ඒවා තම මුහුදු සීමාවට හෙලිකොප්ටර් යානයක් මගින් දමා යැමට නියෝග කිරීමයි. සාමාන්‍ය ධීවරයන් හා එකතුව ඒ මැදින් ඔවුන් මේ මුදල් රැගෙන යාම සිදුකරයි. මේවා හොර මුදල්ද, මුදල් ප්‍රමාණය නිවැරදිද බලන්නත් නවීන මුදල් ගනින යන්ත්‍රත් භාවිත කරන බව පැවසෙනවා.

විවිධ රටවලින් පැමිණි හමුදා සෙබලුන් 3-4 දෙනා බැගින් වු පිරිසක් මෙම මුහුදු සීමාව හරහා ගමන් කරන නැව් වලට ආරක්ෂාව සඳහා ලබා දීම දැන් අලුත්ම ක්‍රමයයි. එම නැව් ගාලු මුහුදු සීමාව ආසන්නයේදී නවත්වාගෙන සිටිද්දී නවීන ආවි ආයුධ සමඟ වු මෙම පිරිස් බොහෝ විටම ගාල්ල වරායේ වු බොට්ටු වලින් ගෙන ගොස් ඒ නැව් වලට නංවනු ලබයි. එම රාජකාරි ඉටුකරන ගාල්ල වරායේ ''දෙව්නුවර එක්ප්‍රස් නැමැති ටැග් බෝට්ටුව''. ඔවුන්ගේ රාජකාරිය කොල්ලකරුවන් සිටින ප්‍රදේශ වලදී නැව් වලට ආරක්ෂාව සපයා ඊට පසු වරායකින් බැස නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමයි. දින කිහිපයක රාජකාරියක් වෙන මේ සඳහා ඉහල වැටුප් ගෙවන බව පැවසෙනවා.

ප්‍රාණ ඇපකරුවන් බේර ගන්න කරන්නා වු සමහර හමුදා මෙහෙයුම් වලින් මුහුදු කොල්ල කරුවන් යැයි සැක පිට පුද්ගලයින් අත්අඩංගුවට ගත්තත් සාක්ෂි නොමැති නිසා මේ අය බොහෝ විටම නිදහස් වෙනවා. මේ කොහෝම වුනත් තාමත් අද වෙන විටත් මේ වැඩේ හොදට නැගලම යනවා. අද මුළු ලෝකයටම හිසරදයක් වගේම තර්ජනයක් ද වී ඇති සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ මේ සිද්ධියට හැම රටක්ම වගේ භය වෙලා. මුහුදු කොල්ලකරුවකු වෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා වගේ නේද?

මේ විස්තරය පින්තූරත් එක්කම බලන්න මෙතනින් → 

http://chamikawp.blogspot.com/

Friday, February 10, 2012

◄ උත්සාහය කුමක් සඳහාද? ►

මුහුදු වෙරළේ ඇවිදමින් සිටි වයස්ගත පුද්ගලයෙකුට ඈත සිටම දැකගත හැකි වූයේ පුංචි කොලු ගැටෙයෙකු මුහුදු වෙරළේ ගොඩ ගසා ඇති දහස් ගණනක් වූ තාරාකා මත්ස්‍යයින් එකිනෙක ගෙන මුහුදට එකතු කරන අයුරුයි. වහා ඔහු අසලට ලඟා වූ වයස්ගත පුද්ගලයා මෙසේ විමසන්නට වුණා.

''පුතා, ඔයා මොකද්ද ඔය කරන්නේ?''

''මේ මගේ අතේ ඉන්න තාරකා මත්ස්‍යයා පේනවා නේද? තව ටික වෙලාවකින් අව් රස්නේ වැඩි වුනාම එයා මැරිලා යාවි. ඒ නිසා මම ඉක්මනින් එයාලව මුහුදට දානවා.''

''ඒත් දරුවෝ, මේ මුහුදු වෙරළ තව කොච්චර නම් දුරට විහිදෙනවද. ඒකේ කොච්චර නම් මේ වගේ තාරකා මත්ස්‍යයෝ ඉන්නවද... ඉතිං ඔයා කොහොමද මේ වගේ පුංචි උත්සාහයකින් වෙනසක් කරන්නේ?''

අහිංසක මදහසකින් යුතුව පුංචි කොලු ගැටයා මෙසේ පැවසුවා...

''මේ මගේ අතේ ඉන්න සතාගේ ජීවිතේට නම් වෙනසක් වෙනවා කියලා මම දන්නවා.''

යාලුවනේ, අපි කරන හොඳ දෙයකින් මුළු ලෝකයක් වෙනස් කරන්න නොහැකි වුනත් එක් අයෙකුගේ හෝ ජීවිතයකට යහපතක් වෙනවා නම් ඒ දේ කරන්න මැළි වෙන්න එපා.


◄ මිනී මැරුමක් ►

හෝම්ස් උදෑසන ව්‍යායාම සඳහා එදිනද නිවසින් පිටවූයේ අධික සීතල සඳහා ඇඟ උණුසුම් කර ගැනීම උචිත යයි හැඟුණු බැවිණි. ඔහු නඟර පාලම මතින් දුවමින් සිටියදී දුටුවේ ගං ඉවුරේ වටවී සිටින මිනිසුන් සමූහයකි. වහා එතැනට දිවගිය ඔහුට දක්නට ලැබුණේ වතුරේ පාවෙන කාන්තා මළ සිරුරකි. තවත් කිහිප දෙනෙකුගේ උදව්ද සහිතව මිනිය ගොඩට ගත් ඔහු ගං ඉවුරේ තිබූ ඇයගේ අත් බෑගය රැගෙන සෝදිසි කරන්නට විය. ඇයගේ හැඳුනුම්පත සහ ඇයගේ ජංගම දුරකතනය ඔහුට හමුවිය. හැඳුනුම්පතට අනුව ඇයගේ නම රෙබෙකා නම් විය. ජංගම දුරකතනයේ අංක පිරිස්සූ ඔහු වහාම ඇයගේ නිවහනට දුරකතන ඇමතුමක් ලබාදුනි.

''හෙලෝ, මේ රෙබෙකාගේ ගෙදරින් ද කතා කරන්නේ?''

''ඔව්, මම එයාගේ husband කතා කරන්නේ. ඇයි මොනවද දැනගන්න ඕන?''

''සර්, මට කණගාටුයි ඔබට දැනුම් දෙන්න. ඔබේ බිරිඳ මිය ගිහින්...''

''මොනවා ! අනේ දෙයියනේ, ඒ කොහොමද එහෙම වුනේ...''

''සර්, ඔබ හැකි ඉක්මනින් මෙතනට ආවොත් හොඳයි නේද...''

මිනිත්තු 10ට පමණ පසු වාහනයක් අසල නවතා ඉන් රෙබෙකාගේ ස්වාමි පුරුෂයා බැස ආ අතර ඔහු තම බිරිඳ අසලට පැමිණ හඬන්නට විය. වහාම ඔහු වෙත ගිය හෝම්ස් ඔහුව අත් අඩංගුවට ගනු ලැබිණි.... ඇයි ඒ???











හැඳුනුම්පතේ ලිපිනයට අනුව රෙබෙකා ගේ නිවස පිහිටා තිබුණේ මිනිත්තු 10ක දුරින් වූ අතර දුරකතන සංවාදයේදී හෝම්ස් රෙබෙකා ගේ මරණය සිදුවී ඇති ස්ථානය ගැන කිසිම සඳහනක් සිදු නොකරන ලදී.


◄ සදාකාලික වූ ආදරය ►

උදේ පාන්දරම රෝහලක නර්ස් නෝනා කෙනෙක් වගේම මුළු රෝහලම බොහෝම කාර්යබහුලව කලබලයෙන් වැඩ. උදෑසන 8.30 පමණ වෙනකොට අවුරුදු 80ක පෙනුම තියෙන මහත්මයෙක් මේ රෝහලට ආවා. ඔහු ආවේ ඔහුගේ මහපටඟිල්ලේ තිබුනු තුවාලයකට නැවතත් බෙහෙත් කරගන්න. අහම්බයෙන් වුනත් මේ නර්ස් නෝනා මේ මහත්තයාව දුටුවේ ඔහු නිතරම කලබලයෙන් තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව බලන නිසාමයි.

''ඔහුට නම් හොදටම කලබල පාටයි. තව මොකක් හරි වැඩක් දාගෙන. හදිසි නම් මොකටද දැන්ම ආවේ. මේ ලෙඩ්ඩු ටිකට සාත්තු කරලා තමා ඔහුව බලන්න වෙන්නේ.'' ඇය හිතුවා.

නැවත නැවතත් ඔහු දිහා බැලුව නර්ස් නෝනාට හැම වතාවෙම දකින්න වුනේ අපහසුවෙන් තම ඔරලෝසුවේ වෙලාව බලන මේ වයසක මහත්තයම තමා.

''මේ මනුස්සයට මොනවා වෙලාද. ඔරලෝසුවමයි බලන්නේ''

පැයක් ගත වෙද්දී වෛද්‍යවරයෙක් එක්කම ඔහුගේ තුවාලය ගැන හොයා බලන්න ඇයට පුළුවන් වුනා. තුවාලයට බෙහෙත් කරන ගමන් මේ නර්ස් නෝනා ටිකක් තරහෙන් වගේ මෙහෙම ඇහුවා.

''මොකද ඔබ තුමා නිතරම වේලාව බලන්නේ. වෙන මොකක් හරි වැඩක් දාගෙනද?''

''ඔව් නෝනා. මම අද මගේ බිරිඳත් එක්කම සාත්තු නිවාසයේ හිඳ උදේ ආහාර ගන්නයි හිටියේ.'' ඔහු ශාන්තව කිව්වා.

''ඇයි, ඇයට මොකක් වෙලාද?''

''ආ, ඇය ටික කාලයක ඉදලා එහි නැවතිලා ඉන්නේ. ඇයගේ මොළයට හානි ගෙන දෙන රෝගයක් හැදිලා. (Alzheimer Disease)''

කතාව අතරම බෙහෙත් දාලත් ඉවර වුනා.

''ආනේ. දැන් ඉතින් 9.30ත් පහු වෙලා. ඇයට දුක හිතේවි ඔබ උදේ ආහාර ගන්න ආවේ නැති එකට'' නර්ස් නෝනා ටිකක් විහිලුවෙන් වගේ කිව්වා.

''නැහැ එහෙම වෙන්නේ නෑ. ඇය දන්නේ නෑ මම කවුද කියලා. ඇය අවුරුදු 5ක් තිස්සේ එහෙමයි. ඇයට සියල්ල අමතක වෙලා.'' ඔහු කිව්වා.

''මොනවා ! ඇයට සියල්ල අමතක වෙලා? ඔබව අදුන නොගෙනත් ඔබ අවුරුදු 5ක් පුරාවටම ඇයත් එක්ක උදේ කෑම ගත්තද? තාමත් ඇයව බලන්න යනවද? ඒක නම් හරිම පිස්සු වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.'' නර්ස් නෝනා පුදුමයෙන් කිව්වා.

ඔහු නර්ස් නෝනාගේ අතට පොඩි තට්ටුවක් දැම්මා...

''ඇයට නම් මාව දැන් මතක නෑ තමයි, ඒ වුනත් මට තාමත් ඇයව මතකයි. ඇය මගේ බිරිඳ, මගේ ආදරිය.''

ඔහු යන්නට ගියා. නර්ස් නෝනාගේ ඇස් වල කදුලු. ඇය සෙමින් තමාටම මිමිණුවා...

''අනේ, හැම කෙනෙකුගේම ජිවිතයට ඕන මේ වගේ ආදරයක් නේද...''

සැබෑ ආදරය තුල ''දැන්, හෙට, අනිද්දා'' කියා වෙනසක් නැත. මොකද එය සදහටම එකම විදිහක් නිසා. ඔබටත් නොවෙනස් සදාකාලික වන ආදරයක් ලැබී තිබෙනවද? එසේනම් ඔබ වාසනාවන්තයි, ඒ ආදරය හැමදාම අගය කරන්න. රැක ගන්න. එයයි සෑබෑ ආදරය.

''දැනුම සොයා සැරිසරන්න - එකතු වන්න'' - http://chamikawp.blogspot.com/


Thursday, February 9, 2012

◄සුබ ආරංචියක් ►

දක්‍ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වුනු රොබට් වින්සෙන්සෝ තරඟාවලියකින් පහසුවෙන්ම ජයගත්තා. ක්‍රීඩා ලෝලින්ගේ උණුසුම් සුබ පැතුම් අතරේ ඔහු තෑගී මුදල ලෙස ලබා දුන් චෙක් පතත් ලබාගත්තා.

ටික වේලාවක් ක්‍රීඩා ගාරයේ වූ තම මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදිලා තමන්ගේ වාහනය වෙත ගියා. ඔහු එනතුරු වාහනය ලඟ බලා සිටි තරුණ කාන්තාවක් ජයග්‍රහණය ගැන සුබ පැතුම් එකතු කරලා ඇය ඉතාම දුකින් වින්සෙන්සෝට දුක් ගැනවිල්ලක් කියන්න පටන් ගත්තා...

''මහත්මයා, මගේ දරුවා ලෙඩ වෙලා. දොස්තරල නම් කියන්නේ ඔහු මැරෙන්නත් පුළුවන් කියලා. හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් සිදු නොකෙරුවොත් මට මගේ එකම පුතා නැති වෙනවා. ඒත් මට රෝහලට මුදල් ගෙවාගන්නත් බැහැ. අනේ මම ගොඩාක් අසරණවෙලා. ඔබට පිං අයිති වෙයි, මට පුළුවන් විදිහකට උපකාර කරන්න.'' ඇය වින්සෙන්සෝට කිව්වා.

''කොච්චර දුක්බර ආරංචියක්ද? ඔයා බය වෙන්න එපා අම්මේ, මේ චෙක්පත මුදල් කරගන්න. දරුවගේ රෝහල් ගාස්තු ගෙවලා ඔහුව බේරගෙන සතුටින් ඉන්න.''

ඒ දරුවා ගැන දුක්වුන ඔහු තමන් කල දේ ගැන ගොඩාක් සතුටු වුනා. ඇය චෙක් පතත් රැගෙන ඉක්මනින් එතනින් පිටව ගියා. සතියකට පස්සේ රොබට් වින්සෙන්සෝ මුණ ගැහෙන්න ඔහුගේ මිතුරෙක් පැමිණියා...

''අයියෝ වින්සෙන්සෝ ඔයා අර චෙක්පත කාට හරි දුන්නද?''

ඔහු හිස සැලුවා...

''අනේ දෙයියනේ, ඇයි ඒ වංචාකරියට ඒ චෙක්පත දුන්නේ?''

''වංචාකාරියක් ???''

''ඔව්, ඇයට අසනීප වුනු දරුවෙක් නැහැ. ඇය ඔබට බොරු කියලා.''

''ඇත්තටම ඇයට ලෙඩ වුනු දරුවෙක් නැද්ද? වින්සෙන්සෝ ආපහු ඇහුවා...''

''නෑ ! ! ! ඒ බොරු... තමන් සතු දේ අනුන්ට දීමත්, අනුන්ට උදවු කිරීමත් හොද ගුණාංගයක්. ඒත් ඒ උදවුව ලබන්නා එක වංචාවක් විදිහට ගත්තොත්.''

''අනේ ඒක කොච්චර හොද ආරංචියක්ද... ඒ කියන්නේ ඇයට අසනීප වුනු දරුවෙකුත් නෑ, ඇය දුකිනුත් නෑ...'' ඔහු බොහෝම සතුටින් පිළිතුරු දුන්නා.

වින්සෙන්සෝ තමා කල දේ ගැනත්, ඇයට දුකක් නැති වීම ගැනත් හිතලා බොහෝම සතුටු වුනා. නමුත් බොහෝ දෙනා තමන් දුන් දේ ගැන නොහිතා, යමෙක් කල වංචාව ගැන හිතලම ගොඩාක් දුක්වෙනවා. සතුටින් යමක් කෙනෙකුට දුන්නොත් ඊට පසුව ඒ ගැන සොයා බලන්න එපා. ඒ දෙන දේ ගැන ඔබේ හිතේ තියෙන බැඳීම සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ දේ කෙනෙකුට දුන්නොත් පමණයි එය දානයක් වෙන්නේ.

''දැනුම සොයා සැරිසරන්න - එකතු වන්න'' - http://chamikawp.blogspot.com/