Tuesday, January 24, 2012

◄ මිතුදම ►


කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

කෙසේ නමුත් දෙදෙනාම තම ගමන අත් නොහැර දිගින් දිගටම එක් දිශාවකට ඇවිද ගියේ ක්‍ෂේම භූමියකට ලං වීමේ අරමුණ ඇතිවය. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවිය, අවසානයේ ඔවුන් දෙදෙනා හට ක්‍ෂේම භූමියක් දැකගත හැකිවිය. සතුටින් උදම් වූ දෙදෙනා වහා වතුරට පැන දිය නෑමට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ දෙයකි, පහර කෑ මිතුරා ජලයේ ගිලෙන්නට විය. වහා ඔහු වෙත පීනා ගිය අනෙකා තම මිතුරා රැගෙන ජලයෙන් ගොඩට පැමිණියේය. මද වෙලාවක් ගිමන් හරිමින් සිටි ගිලෙන්නට ගිය මිතුරා ගල් කැබැල්ලක් ගෙන ඒ අසල වූ ගල් තලාවේ මෙසේ සටහන් කරන ලදී. ''අද මගේ හොඳම මිතුරා මගේ ජීවිතය බේරුවා''

මේ දෙස බලා සිටි අනෙකා ඔහුගෙන් මෙසේ විමසීය...

''මම කලින් ඔයාට ගැහුව වෙලාවේ ඔයා ඒක ගැන ලිව්වේ වැලි වල , ඒත් ඇයි දැන් ඔයා මෙතනදී ගල් තලාවේ ලිව්වේ???''

එවිට අනෙකා මෙසේ පිළිතුරු දුනි...

''කෙනෙක් අපිව රිදෙව්වම අපි ඒක ගැන හදවතේ සටහන් කරන්න ඕනේ සමාව කියන සුලඟට ඒ රිදවීම හදවතින් මකලා දමන්න පුළුවන් විධියට. ඒත් අපිට කෙනෙක් හොඳ දෙයක් කරාම අපි ඒ ගැන ජීවිතේ පුරාවටම හදවතේ රැඳෙන පරිදි සටහන් කරන්න ඕන, කිසිම දේකින් එය මැකී නොයන විධියට.''

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

''LEARN TO WRITE YOUR HURTS IN THE SAND, AND TO CARVE YOUR BENEFITS IN STONE''

Sunday, January 22, 2012

◄ වස මංජුසාව ►



ලිලී යනු චීන තරුණියකි. ලිලී හට තම විවාහයෙන් පසු තම සැමියාගේ නිවසේ පදිංචියට යෑමට සිදුවිය. සිදුවූයේ ඇය බලාපොරොත්තු නොවූ දෙයකි, නැන්ඳම්මා ඇයට නිතරම පාහේ ඇනුම්පද කියමින් ඇයව රිද්දන්නට පටන් ගත් අතර නිතරම ඇයගේ වැරදි ඇයගේ ස්වාමි පුරුෂයාට පවසන්නට පටන් ගත්තා. තත්ත්වය තවත් දරාගත නොහැකි වූයේ චීන සම්ප්‍රදායට අනුව ඇයට තම නැන්ඳම්මාගේ කීමට අවනත වීමට සිදුවීම නිසාය. නැන්ඳම්මා මොනදේ කීවද ඇයට හිස නමා ඒ දේ පිළි ගැනීමට සිදුවිය. මෙසේ ටික කලක් යද්දී ඇයට මේ දේ තවත් දරාගත නොහැකි විය. ඇය තම පියාගේ මිතුරකු වූ හොංෂූ නම් ඖෂධ වේදියා හමුවීමට ගොස් ඇයගේ තත්ත්වය පැවසූවාය.

''අනේ අන්කල්, මගේ නැන්ඳම්මා නිතරම මාත් එක්ක රණ්ඩු කරනවා, නිතරම දකින්නේ මගේ වැරැද්දක්මයි. මටත් ඒවට කටවහගෙන ඉවසන්න බෑ, මමත් ඇයට බැණ වදිනවා. එවිට ඇය ඒ බව මගේ මහත්තයට කියනවා. ඔහු නම් දන්නවා නැන්ඳම්මා තමයි වැරදි කියල, ඒත් ඔහු කිසි විටෙකත් ඇයට ඒ ගැන දොසක් කියන්නෙත් නෑ. මට තව දුරටත් ඇය සමඟ ජීවත් වන්නට බෑ. කරුණාකර ඇයගේ ජීවිතය නැති කරන්න වස ටිකක් දෙන්න.

මද වේලාවක් කල්පනා කරමින් සිටි හොංෂූ මහතා මෙසේ පැවසූවා.

''දූ කියන දේ මට තේරෙනවා, ඒත් එක් වරම නැන්ඳම්මා මැරුනොත් හැමෝම ඔයා සැක කරනවා. ඔයා ඇයව මරාගත් බව හැමෝම දැනගන්නවා. ඒ නිසා මම ඔයාට වස වර්ග කිහිපයක් දෙනවා, ඒවා ඔබේ නැන්ඳම්මාගේ කෑම පිඟානට එකතු කරන්න. මාස 3ක් වගේ එහෙම කරන්න වෙනවා. ඒ අතර තුළ කාලයේ ඇය හා කිසිම අයුරකින් රණ් ඩු කරන්න යන්න එපා, එහෙම වුනොත් හැම දෙනාම ඇයගේ මරණයට ඔබව සැක කරාවි. ඇයට බොහොම අවනත විධියට, ඉවසීමෙන් කටයුතු කරන්න. ඇය මොනව කිව්වත් දරාගෙන ඉන්න, මාස 3කින් හැමදේම ඉවරයි කියලා.''

ඇය ඒ වස මංජුසාවද රැගෙන හොංෂූ මහතාගේ නිවසින් පිටත් වුනේ බොහොම සතුටින්. ඇය එදා පටන් විවිධාකාර කෑම වර්ග සාදමින් තම නැන්ඳම්මාගේ කෑම වේලට අර වස වලින් කොටස බැගින් එක් කරන්නට වුනා. නැන්ඳම්මා මොන දේ කීවද ඇය සිනා මුසු මුහුණින් ඒ දේ ඉවසා ගත්තා. ඇය තම නැන්ඳම්මාට බොහෝ සෙයින් කීකරු දියණියක් වන්නට වුනා. ඇයගේ සැමියාද මේ වෙනස ගැන පසුවුනේ ඉමහත් සතුටකින්. මෙසේ මාස 2ක් පමණ ගතවෙද්දී ඇයටම නොදැනී ඇයගේ තරහ යෑම නැවතී තිබුණා. හැමදේටම ඉවසන්නට ඇය පුරුදු වී සිටියා. ඇයගේ නැන්ඳම්මාද ඇයට තමන්ගේම දියණියක සේ සලකන්නට වුනා. ඇයද එසේම ආදරයක් තම නැන්ඳම්මා කෙරේ දක්වන්නට වුනා. ඒත් එක් වරම ඇයට මතක් වුනා තව දින කිහිපයක් යද්දී නැන්ඳම්මා ඇය දුන් වස නිසා මරණයට පත්වන බව. ඇය වහාම හොංෂූ මහතා මුණ ගැසීමට ගියා.

''අනේ අංකල්, කරුණාකරල මගේ නැන්ඳම්මව බේරල දෙන්න. ඔබ කියූ විධියටම මම ඇයගේ කෑම වේලට වස එකතු කරා. ඒත් මාස 2ක් ගතවන විට ඇය දැන් මගේම අම්මා වගේ, ඇයටත් මාව ඇයගේම දියණියක් වගේ. මට ඇයව නැති කරගන්න බෑ, අනේ ඇයව බේරගන්න උදව් කරන්න''

හොංෂූ මහතා එක් වරම සිනාසෙන්නට පටන් ගත්තා.

''මේ අහන්න දරුවෝ, ඔයාට මම කිසි විටෙකත් වස ලබා දුන්නේ නෑ. මම ඒ ලබාදුන් මංජුසාවේ තිබුණේ ඇයගේ සෞඛ්‍යය යහපත් කරන විටමින් වර්ග කිහිපයක්. වස තිබුණේ ඔයාගේ හිතේ පමණයි. ඒත් ඔබ ඇයට ආදරයෙන් සලකද්දී ඒ වස සේදිලා ගියා. ඔබේ නැන්ඳම්මාගේ හිතටත් වුනේ ඒ දේම තමයි. දැන් ඉතිං හැමදාටම ඇයට ඔබේ මවට මෙන් සලකන්න. සතුටින් ඉන්න.''

...පරිවර්තනයකි...
≈ Love is like a boomerang – You get it back right away ≈

Saturday, January 21, 2012

◄ කැපවීම ►


වෘත්තිය ලෙස නිවාස තැනීම සිදුකල ඔහු තම සැඳෑ කාලය ලඟාවත්ම රැකියාවෙන් ඉවත් වී නිදහස් මිනිසෙකු ලෙස ජීවිතය ගත කිරීමට තීරණය කලේ කාලයක සිටය. ඔහු ඒ බව තම ආයතන අයිතිකරුට දැනුම් දුනි.

''හොඳයි, ඒත් ඔබ රැකියාවෙන් ඉවත් වෙන්න කලින් ඔබට පුලුවන්නම් අපිට තවත් එකම එක නිවසක් නිම කර දෙන්න, ඒක අපිට ලොකු සතුටක් වේවි.''

සිත යටින් ඒ ඉල්ලීමට අකමැති වුවත් ඔහුට තම ආයතන ප්‍රධානියාට ඒ බව පැවසීම කිසි සේත් කල හැක්කක් නොවීය. ඒ නිසාම ඔහු ඒ නිවසේ වැඩ කටයුතුද ආරම්භ කරන ලදී. එම ආයතනය වෙනුවෙන් ඔහු නිර්මාණය කරන ලද නිවාස කාගේත් සිත් ගන්නට සමත් විය. කෙනෙකුට නෙත් අයා බලා සිටිය හැකි තරම් ඒ නිවාස සියල්ලක්ම අලංකාරව ඔහු අතින් නිර්මාණය කර තිබිණි.

නමුත් පෙර තිබූ සතුට, උද්යෝගීමත් බව මේ අවසන් නිවස තැනීමේදී ඔහුගෙන් දක්නට නොලැබිණි. වෙනදා ඔහු ඉතා පරිස්සමින්, සීරුවෙන් නිර්මාණ කරනයේ යෙදුනද මේ නිවස ඔහුට ඉක්මනින් වැඩ නිමවනු දැකීමට අවශ්‍යය විය. ඉස්තරම් දෑ යොදා ගැනීම වෙනුවට පහසුවෙන් සොයාගත හැකි ද්‍රව්‍ය යොදා ඔහු නිවස තැනීම සිදු කරන ලදී. ඔහුගේ එකම කැමැත්ත වූයේ ඉක්මනින් තම කුඩා නිවසට වී දිවියේ සැඳෑ සමය හුදෙකලාව ජීවත් වීමටය. නිවස තනා අවසන් විය. ඒ නිවස ඔහු අතින් නිමවූ අවලස්සනම නිවස බව ඔහුට පවා වැටහිණ. කෙසේ හෝ ඔහු ආයතන ප්‍රධානියා හමුවීමට ගියේ නිවසේ වැඩ නිමවූ බව පැවසීමටය. ඔහු නිවසේ යතුර බාරදුනි. සිදුවූයේ ඔහු කිසිලෙසකත් නොසිතූ දෙයකි.

''මේ නිවසේ යතුර ඔබ ගාවම තියා ගන්න, ඒ නිවස අවුරුදු 30ක් පුරාවට මෙතෙක් අප ආයතනය වෙනුවෙන් ඔබ වූ කැපවීමට අප ආයතනයෙන් දෙන පුංචි තෑග්ගක්''

තමා කල ක්‍රියාව ගැන ඔහුට එවිට ඇතිවූයේ පසුතැවීමකි. එය තමා වෙනුවෙන් බව දැන සිටියා නම් ඔහු අතින් එම නිවස ඊට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් නිමවෙන බව ඔහුට සිහිවිය. නමුත් එවිට ඔහු ප්‍රමාධ වැඩිය.

...පරිවර්තනයකි...
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ඔබ ඒ නිවෙස් තනන්නා නම්, ඔබ ගසන සෑම ඇණයක් පාසා ඔබ බිත්තියක් හැඩ කරාවි, නැතිනම් බිත්තියක් පළුදු කරාවි. ඔබගේ ආකල්ප ඔබගේ ජීවිතය නැමති නිවස ලස්සන කරාවි. එම නිසා කුමක් කරත් ඒ දේ ගැන ආසාවෙන්, කැපවීමෙන් කරන්න. එවිට ජීවිතය සුන්ඳර වේවි.

Thursday, January 19, 2012

◄ අවවාදයයි ►



කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන facebook FAKE profile එකක් හදාගන්නා මේ අය අද අපේ රට විශාල අඳුරු අගාධයකට තල්ලු නරමින් සිටී. අපේ ගෑණු ළමයිනුත් මේකට යම් අයුරකින් වගකියන්න ඕන. තමුන් මූණු පොතේ add කරගන්න යාලුවෝ ගැන හොඳට හිතල බලල add කරන්න. ඒ වගේම photo album privacy, ''friends only'' ලෙස වෙනස් කරන්න. (දන්නේ නැති අයට කිව්වේ හොඳේ)

අද අන්තර්ජාලය පුරාවට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය ජනතාව ගැන Google search bar එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.

( Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනු ඇත.)

තේරුමිගන්න...
අපගේ මවුබිම අනතුරේ. දැන්වත් මෙය නවත්වන්න. ඔබගේ සහොදරියකට, ඔබෙම ආදරවන්තියට මේ දේ සිදුවුනොතින් ? ? ? මෙයට විරුද්ධව නැගී සිටින්න. හැමදෙනාටම ආදරය කරන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. අනුන්ගේ වරද නොව තමන් අතින් සිදුවු වරද ගැන සිතන්න. එය නිවැරදි කරගන්න... මෙය ඔබේ මවුබිමයි. ඔබගේ ආර්මාර්ථකාමි සතුට මාගේ මවුබිමට අපකීර්තිය ගෙනදීමට සමත්වනු ඇත.

අද සිට අප අලුත් ‌ෙවමු... සැමට ආදරය කරමු...
ස්තූතියි !

ඔබගේ නමින් මෙසේ ව්‍යාජ ගිණුමක් දුටුවහොත් වහාම පහත දත්ත හරහා ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) සමබන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල යොමු කරන්න.

Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka.
Tel : +94 11 269 1692 /269 1064 /267 9888
Fax : +94 11 269 1064
E-Mail : slcert@cert.gov.lk

Idea By - Erandha Bandarra

◄ මේ දේවල් මතකද??? ►


තව add වෙන්න ඕන දේවල් නම් එමටයි. ඒත් මේ වගේ පුංචි ඉඩක ඒ සුන්ඳර කාලය කොහොම නම් අමුණන්නද...