Monday, December 12, 2011

◄ සිංහළේ අංගං සටන් ►



සිංහළේ අංගං ශාස්ත්‍රය අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගං ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෞර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් මේ අංගං ශාස්ත්‍රයේ ආභාෂයෙනි.

ඉලංගම් යනු ආයුධ සන්නද්ධ සටන් යන්නයි. අංගං යනු නිරායුධ සටන් ය. අංගං හා ඉලංගම් පුහුණු වීමට භාවිතා කරන මඩුව නොමැතිනම් ස්ථානය ඉලංගම්මඩුව ලෙස අංගං ශාස්ත්‍රයේදී හැඳින්වේ. සාමාණ්‍යයෙන් ඉලංගම්මඩුවල නිල ශාස්ත්‍රය, පැනුම් පිණුම් ශාස්ත්‍රය, මන්ත්‍ර ශාස්ත්‍රය, හෙළ වෙදකම, දේහ ධර්ම විද්‍යාව, ඉතිහාසය, අවි ආයුධ ශාස්ත්‍රය වැනි අංගං වලට ඇතුළත් වෙනත් කොටස්ද ප්‍රගුණ කෙරෙනු ලැබේ. සාමාන්‍යයෙන් අංගං මඩුවක් තුළ සටන් පුහුණු වීම සඳහා සුදුසු පරිසරයක් සකස් වන අතර බොහෝ දුරට වනාන්තරය ආශ්‍රිතව පිහිටා තිබීම වැදගත් වේ.

සක්විති රාවන හෙවත් දසිස් රාවනද අංගං සටන් පරතෙරට උගත් නරනායකයෙකි. රාවන රජුට නිල ශාස්ත්‍රය මෙන්ම නාඩි ශාස්ත්‍රය ගැනද මනා දැනුමක් වූ අතර ඒ පිළිබඳ පොත් පවා ලීවේය (නාඩි ශාස්ත්‍රය). රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගෙන් පසුව ඉන්ද්‍රජිත්ගේ පුතනුවන් දෙදෙනෙකු වූ කේවේසස්ථ හා රවිශෛලාංත මෙම සටන් ශිල්පය පරතෙරටම ප‍්‍රගුණ කළ අයයි. කස්තාන, සිංහ කඩු, නයි පෙන කඩු, ඉලුක්කොළ කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පළිහ, රිටි, හෙල්ල හෙළයේ සටන් ආයුධය, මේවා මලින් සරසා සුවඳ දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත්කර තබා ඇත. එම ආයුධ අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකිය.

අංගං හරඹ ශිල්පය හදාරණ ශල්පීන් ආයුධ 9ක් පුහුණුව ලැබූපසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගං මඩුවේ ආධුනිකයින්ට පුහුණුකිරීමේ සුදුසුකම් ලැබීමයි. අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහා ඌරා ළිඳේ සටන් යොදා ගනු ලබයි. මීට අමතරව අතීතයේ රජුන්ගේ අංගාරක්ෂකයන් (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා ළිඳේ අංගං කෙටීමෙනි.

ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.
•අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
•මරණය තෙක් සටන් කිරීම
•පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
•පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම
යනාදී ලෙසයි. මෙහිදී දෙදෙනා එකඟ වන ඕනෑම ආකාරයකට සටන් කිරීම සිදු කළ හැකිය.

මහනුවර යුගය වන විට සුදලිය සහ මරුවල්ලිය යන අංගං සටන් පරම්පරා දෙක මුල්තැන ගනී. මේ අතුරින් සටනකදී සුදලියේ පණික්කිරාල පැරදවූ මරුවල්ලිය පරපුරේ ගලගොඩ කුමාරිහාමි ගැන තොරතුරු රැසක් ඉතිහාසයේ එයි. ඇගෙන් පසු ගලගොඩ මුහන්දිරම් නමින් පරම්පරා හතක සටන් ශිල්පීන් අංගං සටනේ දස්කම් පාමින් රාජ්‍ය සේවයේ යෙදුණහ. මෙම සටන් කරුවන් බෙහෙවින් රජුට පක්ෂපාතී වූහ. ඉහතදී සඳහන් කල කොරතොට විහාරය හා සම්බන්ධ අංගං සටන් ශිල්පීන් සිය දස්කම් පෑ අවස්ථාවක් ලෙස සීතාවක රාජසිංහ රජු (එවකට ටිකිරි කුමරු) සමඟ එක්ව පරංගින්ට විරුද්ධව කල සටන හැඳින්විය හැක. මෙහිදී විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් අවට වලව් 18ක සටන් ශිල්පීන් විහාරයට කැඳවා සටන් කලාව පුහුණු කිරීම හා සේනා සංවිධානය අරඹන ලද බව කියවේ. මෙසේ සංවිධානය වුණු බලසේනාව සමඟ පළමුවැනි රාජසිංහ රජු පරංගින් කොළඹ කොටුවට සීමා කරන ලදී.

මේ අතර සිංහල හමුදාවේ රණ ශූරයකු වූ මුල්ලේගම අලි ඇතුන් මෙල්ල කිරිම සඳහා සටන් ක‍්‍රම ඉගැන්වීම සිදුකළහ. ඔහුගේ සටන් ක‍්‍රමය වූයේ එක් අයකු දුවගොස් අලියා ඉදිරිපිට පහත්වීමයි. පසුව තවත් අයෙක් දුවගොස් ඔහුගේ කර උඩට නැග අලියාගේ කුම්බස්තලයට වේගවත් වැලමිට පහරක් දෙයි. එම පහරත් සමඟ අලියා මැරි බිම වැටෙයි. මෙම සටන් ක‍්‍රම මගින් මුල්ලේරියාව ජයග‍්‍රණය කළ රණ ශූරයින්ට රජතුමාතෑගි දුන්නේය. කඩුවෙළ අශි‍්‍රත හේවාගම් නමින් ගම්වරයක්ද දුන්නේය. හේවාගම නමින් අද හැදින්වෙන්නේ එම ප‍්‍රදේශයයි.

මේ අයුරින් වසර තිස් දහසකට අධික ඉතිහාසයකට උරුමකම් කියූ අංගං සටන් කලාවේ අභාවය ඇරඹෙන්නේ ඉංග්‍රීසින් විසින් ගැසට් නිවේදනයකින් අංගං සටන් තහනම් කිරීමෙනි. සටන් කරුවන් හොය හොයා මරන්නට තරම් ඉංග්‍රීසින් මිලේච්ඡ විය. සටන් උගන්වන්නන් මරා දමන ලද අතර උඩුකය ආවරණය වන ඇඳුම් තහනම් කරන ලද්දේ සටන් ශිල්පීන් හඳුනාගැනීමටය. මොවුන් අප අංගං සටන් විරුවන් සතු ප්‍රභල සටන් කලාවට මෙන්ම කාය ශක්තියට බියවී සිටි තරම ඉන් අපට පැහැදිලිය. එකළ ඕනෑම හෙළයෙකුට පුහුණු වීමට අවසර තිබුණු මෙම සටන් කලාව මින් පසු වෙනස් විය. සටන් කරුවන් රහසිගතව සිය පරම්පරාවෙන් පරම්පරාවට ශාස්ත්‍රය ඉදිරියට ගෙන ආහ.

මෙම වටිණා ශිල්පය රැකගන්නවුන් හට අපගේ ප්‍රණාමය !

සැ.යු. : මා මේ සටහන සඳහා ලිපි කිහිපයක තොරතුරු ආදේශ කරගත් අතර සම්පූර්ණ ගෞරවය ඒවායේ මුල් කතුවරුන් සතුය. ඔබ සැමට රාවණ සුරිඳු පිහිටයි !

Sources : lankadeepa & uralinda.blogspot.com

1 comment:

  1. වටිනා ලිපියක්. ස්තුතිය්.

    ReplyDelete