Saturday, December 31, 2011

◄ කරන කියන දේ ►



තම පියා සමඟ උදේම අසල කඳු ගැටයට නැඟීම පුරුද්දක් කරගෙන සිටි අවුරුදු 5ක පමණ පුතෙකු එදිනද උදෑසනම තම පියා හා කන්ඳ තරණය කරන්නට වුනා. ඒත් ඔහුගේ දැඟළිලි ස්වාභාවය නිසාම එක්වරම ඔහු ලිස්සා ගොස් ඇද වැටුණා. රිදුම් දෙන කකුල නිසාම ඔහුට ''අනේ'' කියා කෑ ගැසෙද්දී අවට පරිසරයේ තිබූ නිහඬ බව නිසාම ඔහුගේ වචන දෝංකාර දී නැවත ''අනේ'' කියා ඇසෙන්නට වුනා. මේ වන්නේ කුමක්දැයි සිතාගත නොහැකි වූ පුංචි පුතා ''ඔයා කවුද'' යැයි ප්‍රශ්ණ කරා. එයටද පිළිතුරු ලෙස නැවතත් දෝංකාරය ''ඔයා කවුද'' යැයි හඬ නැඟුවා. මෙයින් කෝපයට පත් පුංචි දරුවා ''කවුද මේ මෝඩයා'' යැයි කෑ ගැසුවා. එයටත් පෙර පරිදිම දෝංකාරය පිළිතුරු දුන්නා. ''කවුද මේ මෝඩයා''.

සිදුවන්නේ කුමක්දැයි වටහා ගත නොහැකි වූ තැන පුතා තම පියා දෙස බලා ''තාත්තේ මොකද්ද මේ වෙන්නේ'' යැයි විමසුවා. එවිට පියා තම පුතුව ලඟට ගෙන මෙසේ කෑ ගැසුවා.


''මම ඔබව අගය කරනවා'' එවිටද දෝංකාරය පිළිතුරු දුන්නා. ''මම ඔබව අගය කරනවා'' නැවතත් පියා ''ඔයා නම් හරිම හපනෙක්'' යැයි කෑ ගසා පැවසුවා. එවිටද එය දෝංකාර දී පිළිතුරු ලෙස ''ඔයා නම් හරිම හපනෙක්'' යැයි ඇසෙන්නට වුනා.


පුතුට එවිට සතුටක් දැනුනත් ඔහුට සිදුවන දේ වටහා ගැනීමට නොහැකි බව තේරුම් ගත් පියා පුතුට මෙසේ පැවසුවා. ''පුතේ, ඔයා කියන දේ ආයෙත් ඒ විදියට ඇහෙන දේට මිනිස්සු කියන්නේ දෝංකාරය කියලා. ඒත් ඒකම තමයි පුතේ ජීවිතේ කියන්නෙත්.



ජීවිතය වෙනුවෙන් අපි කරන කියන දේම තමයි ආපසු අපිට ජීවිතය තෑගි කරන්නේ. අපේ ජීවිතය ඇත්තටම අපි කරන කියන දේවල ප්‍රතිරූපයක් වගේ. ඔයාට අනිත් අයගෙන් ආදරේ අවශ්‍යය නම්, ඔයත් අනිත් අයට ආදරේ කරන්න ඕන. ඔයාට අනිත් අයගෙන් ගෞරවය අවශ්‍යය නම්, ඔයා අනිත් අයටත් ගරු කරන්න ඕන. ඔයා ජීවිතේට කරන හැමදේම පෙරලා ඔයාටත් ඒ විදියටම ලැබෙනවා.''

''YOUR LIFE IS NOT A COINCIDENCE, IT'S A REFLECTION OF YOU !''

No comments:

Post a Comment