Thursday, January 12, 2012

◄ ළමයා සහ ඇපල් ගස ►



බොහෝම කාලයකට පෙර ඉතාම විශාල ඇපල් ගසක් තිබුණා. ඒ වටා සෙල්ලම් කරන්නට එක් කුඩා ළමයෙකුද පුරුදු වී සිටියා. ඇපල් ගසද තමා වටා සෙල්ලම් කරන මේ කුඩා දරුවාට ඉතාමත් ආදරය කලා. මොහු ගසේ ඉහළටම නැඟ විනෝද වන්නට පුරුදුව සිටියා. ගසේ අතු උඩ හිඳගෙන ඇපල් ගෙඩි කනවා, ගස සෙවනේ පුංවි නින්ඳකට වැටෙනවා... මොහු ගසට ඉතාම ආදරය කරනවා. ගස එයින් ඉතාමත් ප්‍රීතියට පත්වෙනවා. මෙසේ කාලය ගෙවී ගියා. දරුවා අවුරුදු 10ක පමණ කොලු ගැටයෙකු බවට පත් වෙනවා. දිනක් නැවත ඔහු ඇපල් ගස වෙත පැමිණෙනවා.

ඇපල් ගස : එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න. දරුවා : මම දැන් පොඩි ළමයෙක් නෙවෙයි. තව දුරටත් ගස් වටේ දුව දුව සෙල්ලම් කරන්න මට බෑ. මට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු ඕන. ඒවා ගන්න මට සල්ලි ඕන. ඇපල් ගස : සමාවෙන්න, මා ගාව සල්ලී නම් නෑ. නමුත් ඔබට පුළුවන් මගේ ගෙඩි විකුණා සල්ලි ගන්න.


ළමයා ඉතාමත් සන්තෝෂයෙන් ගෙඩි සියල්ලම කඩාගෙන යනවා. නැවතත් කාලය ගතවී යනවා. ළමයා ඇපල් ගස වෙත නොපැමිණි දුකින් ඇපල් ගස දුක් වෙනවා. නැවත වසර 15ට පමණ පසු ඒ ළමයා වැඩුණු මිනිසෙකු බවට පත්වී ඇපල් ගස වෙත යළි පැමිණෙනවා.


ඇපල් ගස : එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න. තරුණයා : මට සෙල්ලම් කිරීමට කාලයක් නෑ, පවුලේ යහපත වෙනුවෙන් වැඩ කරන්න මට සිදුවී තිබෙනවා. මගේ පවුලේ රැකවරණය සඳහා නිවසක් අවශ්‍යය වී තිබෙනවා. ඔබට පුළුවන්ඳ මට උදව් කරන්න? ඇපල් ගස : සමාවෙන්න, මට ඔබට දීමට නිවසක් නම් නෑ. ඒත් ඔබට පුළුවන් මගේ අතු කපාගෙන ගොස් නිවසක් සාදා ගන්න.


ඉතාමත් ප්‍රීතියට පත්වූ තරුණයා අතු සියල්ලම පාහේ කපාගෙන පිටව යනවා. නැවතත් කාලය ගතවී යනවා. ඒත් ඔහු නැවත එන්නේ නෑ, ඇපල් ගස ඔහු නැති තනිකමෙන් දුක් වෙනවා. ගස නැවතත් හුදකලා වනවා. ඒත් බොහෝ කාලයකට පසු හදිසියේම ඔහු නැවතත් පැමිණෙනවා. ඔහුට දැන් වයස 55ක් පමණ වෙලා.


ඇපල් ගස : එන්න මාත් එක්ක සෙල්ලම් කරන්න. වයසක මිනිසා : මම දැන් මහළු වියට ලං වෙමිනුයි ඉන්නේ, මට විවේකීව කාලය ගත කරන්න යාත්‍රා කරන්න ආසයි. ඔබට පුළුවන්ඳ මට බෝට්ටුවක් දෙන්න? ඇපල් ගස : මා ලඟ බෝට්ටුවක් නම් නෑ, ඒත් ඔබට පුළුවන් මගේ කඳ කපාගෙන බෝට්ටුවක් තනා ගන්න.


ඔහු කඳ කපාගෙන බෝට්ටුවක් සාදා ගන්නවා. පෙර පරිදිම බොහෝ කලක් ගතවූ වත් ඔහු ගස වෙත යළි පැමිණෙන්නේ නෑ. අවුරුදු ගණනක් ගතවූ පසු එක් සැඳෑ සමයක ඔහු නැවත පැමිණෙනවා. ඇපල් ගස : සමාවෙන්න මගේ පුතේ, මට දැන් ඔබට දෙන්න කිසිවක් ඉතිරිවී නෑ. මට දැන් ඔබට දෙන්න ඇපල් නෑ, ඔබට උඩ නැඟලා සෙල්ලම් කරන්න මට කඳක් නෑ. ඉතිරිව ඇත්තේ මාගේ මිය යමින් තිබෙන මේ මුල පමණයි. කඳුලු සලමින් ගස එසේ පැවසුවා.


මහල්ලා : මට දැන් කිසිවක් අවශ්‍යය නෑ. අවශ්‍යය වන්නේ විවේක ගන්නට ස්ථානයක් පමණයි. මේ සියල්ල අවසානයේ මට හරිම තෙහෙට්ටුවක් දැනෙනවා. ඇපල් ගස : හොඳයි, එසේනම් ගසක මුලක් ඊට කදිම තැනක් වේවි. එන්න ඇවිත් හිඳගන්න. මිනිසා හිඳගත් අතර ගස ප්‍රීතියෙන් කඳුලු සලන්නට වුනා.

ඔබගේ දෙමාපියන් ද මේ ගස වැනිය. ඔබ කැමතිම දේ දෙන්නට සැදී පැහැදී සිටින්නේ මහා වෘක්‍ෂයක් සේමය. ඔබ ජීවිතයේ කෙතරම් කාර්ය බහුල වුනත් දෙමාපියන් වෙනුවෙන් කාලය වෙන් කිරීමට සිතට ගන්න. මන්ඳ ඔබ ජීවිතයේ කොතරම් හැල හැප්පීම් වලට මුහුණ දුන්නඳ එකසේ ඔබව භාර ගැනුමට සැදී පැහදී සිටින්නේ ඔවුන් පමණක් නිසාමය... ''No matter what, parents will always be there and give everything they could just to make you happy'' ( චීන ජනකතාවක් ඇසුරිනි )

No comments:

Post a Comment