Sunday, January 22, 2012

◄ වස මංජුසාව ►



ලිලී යනු චීන තරුණියකි. ලිලී හට තම විවාහයෙන් පසු තම සැමියාගේ නිවසේ පදිංචියට යෑමට සිදුවිය. සිදුවූයේ ඇය බලාපොරොත්තු නොවූ දෙයකි, නැන්ඳම්මා ඇයට නිතරම පාහේ ඇනුම්පද කියමින් ඇයව රිද්දන්නට පටන් ගත් අතර නිතරම ඇයගේ වැරදි ඇයගේ ස්වාමි පුරුෂයාට පවසන්නට පටන් ගත්තා. තත්ත්වය තවත් දරාගත නොහැකි වූයේ චීන සම්ප්‍රදායට අනුව ඇයට තම නැන්ඳම්මාගේ කීමට අවනත වීමට සිදුවීම නිසාය. නැන්ඳම්මා මොනදේ කීවද ඇයට හිස නමා ඒ දේ පිළි ගැනීමට සිදුවිය. මෙසේ ටික කලක් යද්දී ඇයට මේ දේ තවත් දරාගත නොහැකි විය. ඇය තම පියාගේ මිතුරකු වූ හොංෂූ නම් ඖෂධ වේදියා හමුවීමට ගොස් ඇයගේ තත්ත්වය පැවසූවාය.

''අනේ අන්කල්, මගේ නැන්ඳම්මා නිතරම මාත් එක්ක රණ්ඩු කරනවා, නිතරම දකින්නේ මගේ වැරැද්දක්මයි. මටත් ඒවට කටවහගෙන ඉවසන්න බෑ, මමත් ඇයට බැණ වදිනවා. එවිට ඇය ඒ බව මගේ මහත්තයට කියනවා. ඔහු නම් දන්නවා නැන්ඳම්මා තමයි වැරදි කියල, ඒත් ඔහු කිසි විටෙකත් ඇයට ඒ ගැන දොසක් කියන්නෙත් නෑ. මට තව දුරටත් ඇය සමඟ ජීවත් වන්නට බෑ. කරුණාකර ඇයගේ ජීවිතය නැති කරන්න වස ටිකක් දෙන්න.

මද වේලාවක් කල්පනා කරමින් සිටි හොංෂූ මහතා මෙසේ පැවසූවා.

''දූ කියන දේ මට තේරෙනවා, ඒත් එක් වරම නැන්ඳම්මා මැරුනොත් හැමෝම ඔයා සැක කරනවා. ඔයා ඇයව මරාගත් බව හැමෝම දැනගන්නවා. ඒ නිසා මම ඔයාට වස වර්ග කිහිපයක් දෙනවා, ඒවා ඔබේ නැන්ඳම්මාගේ කෑම පිඟානට එකතු කරන්න. මාස 3ක් වගේ එහෙම කරන්න වෙනවා. ඒ අතර තුළ කාලයේ ඇය හා කිසිම අයුරකින් රණ් ඩු කරන්න යන්න එපා, එහෙම වුනොත් හැම දෙනාම ඇයගේ මරණයට ඔබව සැක කරාවි. ඇයට බොහොම අවනත විධියට, ඉවසීමෙන් කටයුතු කරන්න. ඇය මොනව කිව්වත් දරාගෙන ඉන්න, මාස 3කින් හැමදේම ඉවරයි කියලා.''

ඇය ඒ වස මංජුසාවද රැගෙන හොංෂූ මහතාගේ නිවසින් පිටත් වුනේ බොහොම සතුටින්. ඇය එදා පටන් විවිධාකාර කෑම වර්ග සාදමින් තම නැන්ඳම්මාගේ කෑම වේලට අර වස වලින් කොටස බැගින් එක් කරන්නට වුනා. නැන්ඳම්මා මොන දේ කීවද ඇය සිනා මුසු මුහුණින් ඒ දේ ඉවසා ගත්තා. ඇය තම නැන්ඳම්මාට බොහෝ සෙයින් කීකරු දියණියක් වන්නට වුනා. ඇයගේ සැමියාද මේ වෙනස ගැන පසුවුනේ ඉමහත් සතුටකින්. මෙසේ මාස 2ක් පමණ ගතවෙද්දී ඇයටම නොදැනී ඇයගේ තරහ යෑම නැවතී තිබුණා. හැමදේටම ඉවසන්නට ඇය පුරුදු වී සිටියා. ඇයගේ නැන්ඳම්මාද ඇයට තමන්ගේම දියණියක සේ සලකන්නට වුනා. ඇයද එසේම ආදරයක් තම නැන්ඳම්මා කෙරේ දක්වන්නට වුනා. ඒත් එක් වරම ඇයට මතක් වුනා තව දින කිහිපයක් යද්දී නැන්ඳම්මා ඇය දුන් වස නිසා මරණයට පත්වන බව. ඇය වහාම හොංෂූ මහතා මුණ ගැසීමට ගියා.

''අනේ අංකල්, කරුණාකරල මගේ නැන්ඳම්මව බේරල දෙන්න. ඔබ කියූ විධියටම මම ඇයගේ කෑම වේලට වස එකතු කරා. ඒත් මාස 2ක් ගතවන විට ඇය දැන් මගේම අම්මා වගේ, ඇයටත් මාව ඇයගේම දියණියක් වගේ. මට ඇයව නැති කරගන්න බෑ, අනේ ඇයව බේරගන්න උදව් කරන්න''

හොංෂූ මහතා එක් වරම සිනාසෙන්නට පටන් ගත්තා.

''මේ අහන්න දරුවෝ, ඔයාට මම කිසි විටෙකත් වස ලබා දුන්නේ නෑ. මම ඒ ලබාදුන් මංජුසාවේ තිබුණේ ඇයගේ සෞඛ්‍යය යහපත් කරන විටමින් වර්ග කිහිපයක්. වස තිබුණේ ඔයාගේ හිතේ පමණයි. ඒත් ඔබ ඇයට ආදරයෙන් සලකද්දී ඒ වස සේදිලා ගියා. ඔබේ නැන්ඳම්මාගේ හිතටත් වුනේ ඒ දේම තමයි. දැන් ඉතිං හැමදාටම ඇයට ඔබේ මවට මෙන් සලකන්න. සතුටින් ඉන්න.''

...පරිවර්තනයකි...
≈ Love is like a boomerang – You get it back right away ≈

2 comments:

  1. ඇත්තටම හරියටම හරි යන බෙහෙතක් තමයි දීලා තියෙන්නේ අපේ තරුණ විවහ උන වෙන්න ඉන්න හැමොටම හොඳ පාඩමක්

    ReplyDelete
  2. Lassana Kathawak Nuwanakkaara Pirimiyek Thamai E tika hari kiyala Denna Hitiye...

    ReplyDelete