Saturday, January 28, 2012

◄ මිළ කල හැකිද? ►

කන්තෝරුවේ සිට රෑ බෝවී නිවසට පැමිණි පියෙකු හා ඔහුගේ පුතා අතර ඇතිවුනු කතාබහ...

පුතා : තාත්තේ මම ප්‍රශ්නයක් අහන්නද?
තාත්තා : හ්ම්ම්...
පුතා : තාත්තා පැයකට කීයක් අය කරනවද කන්තෝරුවේ වැඩ කරන්න?
තාත්තා : ඒ පැහිච්චකම් මොකටද ඔයාට, විකාර අහන් නැතුව ගිහින් පාඩම් කරන්න.
පුතා : නෑ මට කියන්නකෝ... අනේ තාත්තේ...
තාත්තා : ම්ම්ම්, රු.500ක් විතර.
පුතා : අයියෝ... (දුක්බර මුහුණින් මද වේලාවක් සිට) තාත්තේ... මට රු.300ක් දෙන්න පුළුවන්ද?
තාත්තා : මෙච්චර වෙලා බොරුවට හුරතල් වුනේ සෙල්ලම් බඩු ගන්න සල්ලි ඉල්ල ගන්න නේද? යනව කාමරේට, ගිහින් නිදාගන්නවා...

කුඩා පුතු සෙමින් සෙමින් තම කාමරය වෙත යයි... ''කපටිකමට සල්ලි ඉල්ලන්න හුරතල් වුනු තරමක්'' තාත්තා තමුන්ටම කෝපයෙන් කියා ගනී. පැයක් පමණ ගතවුනු පසු ඔහු තරමක් සංසුන්ව මෙසේ සිතයි. ''සමහරවිට ඉස්කෝලෙට මොනව හරි ගන්න ඕන වෙලාද දන් නෑ සල්ලි ඉල්ලුවේ''

තාත්තා : පුතා ඔයා නිදිද?
පුතා : නෑ තාත්තේ, එන්න...
තාත්තා : ම්ම්ම්, මම රෑ මහන්සි වෙලා ගෙදර ආවම අනිත් දවසේ ඇවිත් කරදර කරන්න එපා හොඳද. මෙන්න රු.300ක්.
පුතා : (සතුටින් ඉපිලෙමින්) මගේ හොඳ තාත්තා...

පුතා තම කොට්ට උරය තුළට අතදමා ගුලිකරන ලද මුදල් නෝට්ටු කිහිපයක් අතට ගනී.

තාත්තා : ඔයා ගාව සල්ලි තියාගෙන ඇයි මගෙන් ඉල්ලුවේ? (තරමක් තරහින්)
පුතා : මොකද මම ගාව තියෙන සල්ලි ගාන මදි තාත්තේ... ඒත් දැන් තාත්තා දුන්නු රු.300ත් එකතු වුනාම රු.500ක් තියෙනවා. මට තාත්තගෙ කන්තෝරු වෙලාවෙන් 1 පැයක් අරගන්න ඕන. මේ රු.500 අරගෙන මගේ හොඳ තාත්තා වගේ හෙට පැයක් කලින් ගෙදර ඇවිත් මාත් එක්ක ටිකක් සෙල්ලම් කරල, මාත් එක්කම රෑ කෑම ගන්නවද?

තම දෙනෙත් කඳුලින් තෙත් වී යද්දී ඔහු තම පුතුව බදාගෙන සිඹින්නට වුනා...

◄•---••---••---••---••---••---••---••---••---••---••---••---••---••---••---•►
අපි හෙට මැරිල ගියොත් අපි වැඩ කරන කාර්යාලයෙන් පහසුවෙන්ම අපි වෙනුවට කෙනෙක් රැකියාවට ගනීවී. ඒත් අපේ ජීවිතේට ලඟ අයට අපි නැති අඩුව සදහටම දැනේවී. ඉතිං අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපේ දෙමව්පියන්ට, අපේ දරුවන්ට, අපේ බිරිඳට/ස්වාමිපුරුෂයාට හෝ අපේ පෙම්වතියට/පෙම්වතාට, මිතුරන්ට, ඥාතීන්ට හැකිතාක් ආදරයෙන් ඉන්න සිතට ගනිමු.


No comments:

Post a Comment