Tuesday, January 31, 2012

◄ අතක් නැති කොල්ලට මොන ''ජූඩෝ'' ද? ►



පෝල් කියන පොඩි කොල්ලට ඕන වුනා “ජූඩෝ“ ඉගෙන ගන්න. ඉතින් වයසක ජපන් ''ජූඩෝ'' ගුරුතුමෙක් ළගට තමා පෝල් ''ජූඩෝ'' ක්‍රීඩාව ඉගෙන ගන්න ගියේ. ඒත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. දන්නවද? මේ පෝල් ගේ වම් අත නෑ. කාලෙකට ඉස්සර සිදුවුණු භයානක රිය අනතුරකින් පෝල්ට එයාගේ වම් අත අහිමි වුනා. හැබැයි පෝල් ට ඒක ප්‍රශ්නයක් වෙන්න ගුරුතුමා ඉඩ දුන්නේ නෑ.

කාලයත් එක්ක පෝල් ''ජූඩෝ'' ක්‍රීඩාව හොදට පුරුදු වේගෙන ගියා. ඒත් මාස 3ක් වෙලත් මේ වයසක ජපන් ගුරුතුමා පෝල් ට කියලා දෙන්නෙ එකම සටන් ක්‍රමය. එකම එක චලනයක් විතරමයි. පෝල්ට මේක ඇති වුනා.

සෙන්සෙයි... මොකක්ද මේ? මට වෙන සටන් ක්‍රම කියලා දෙන්නේ නැද්ද? මට දැන් මේක කරලාම ඇති වෙලා. පෝල් ටිකක් තරහින් කිව්වා.

ඒක නම් ඇත්ත. මේ ඔයා දන්න එකම විදිහ. ඒත් මේකම තමා ඔයා හැමදාටම දැන ගන්නත් ඕන එකම සටන් ප්‍රහාරක ක්‍රමය. ඉතා ශාන්තව ගුරුතුමා කිව්වා.

අනේ මන්දා... හොදයි.

ගුරුතුමාගේ වචනය විශ්වාස කරලා පෝල් ආපහු දිගටම පුහුණු වීම් කලා. කාලය ගත වෙලා යද්දී ගුරුතුමා ජුඩෝ තරඟාවලියකට පෝල් ව එක්ක ගෙන ගියා. පලවෙනි තරඟයට ඔහු ඉදිරිපත් වෙද්දී වටේ අයත් පුදුම වුනා. පළවෙනි තරඟය පහසුවෙන්ම පෝල් ජය ගත්තා. ඔහුත් ඒ ගැන පුදුම වුනා වගේම තව ටිකක් උනන්දුත් වුනා. දෙවනි තරඟයත් පහර දෙක තුනක් වැදුනත් සටන් කල පෝල්ට ජය හිමිවුනා. තුන්වෙනි එක නම් ටිකක් අමාරු පාටයි. එහෙත් ප්‍රතිවාදියාගේ ඉවසුම් නැති වීමත් තරහා යාමත් වාසිය කරගත් පෝල් තමන් දන්නා එකම සටන් ක්‍රමයෙන් ඔහුවත් පරාජයට පත්කලා. ඔහු පුදුම වුනා ඔහු ගැනම. මේ අන්තිම තරඟය. හැබැයි පොල් ගේ ප්‍රතිවාදියා හොද ශක්තිමත් උස ඒ වගේම හොද පළපුරුදු ක්‍රීඩකයෙක්. එහෙම බලන කොටනම් මේ දෙන්නා අතරේ කිසිම ගැලපීමක්වත් නෑ.

තරගය පටන් ගත්ත සැනින් ම පෝල්ට පහර පිට පහර වැදුනා. ඔහුට සිතා ගන්නවත් වුනේ නෑ මොකක්ද වුනේ කියාලා. විනිසුරුවා තරඟයේ විවේක කාලයක් සටහන් කලා. හොදටම පහර කෑ පෝල් ගුරුතුමාගෙන් තරඟය නවත්තන්නදැයි ඇහුවා.

එපා. එපා. දිගටම සටන ගෙනියන්න. ඔබටත් අවස්ථාවක් ඒවි. ජපන් ගුරුතුමා ශාන්තව කිව්වා.

නැවත තරඟය ක්‍රියාත්මක වුනා. දිගටම සටන යන අතරේ ප්‍රතිවාදියාගේම වරදින් ඔහුගේ ආරක්ෂක ආවරණය බිම වැටුනා. ඒ අවස්ථාවේදීම පෝල් ක්ෂණයකින් ඔහුව බිම දැම්මේ තමන් දන්න එකම සටන් ක්‍රමයෙන්. ඔහු තරඟය දිනුවා. තරඟාවලියම දිනුවා. ඔහුයි ජයග්‍රාහකයා. එත් පෝල්ට ඒක ලොකු ප්‍රශ්ණයක් වුනා.

ගෙදර යන අතරතුරේ...

සෙන්සෙයි, එක සටන් ක්‍රමයක් විතරක් දන්න මම ඇත්තටම තරඟාවලියක් දිනුවේ කොහොමද?

පෝල් ඒකට හේතු දෙකක් තියෙනවා. ගුරුතුමා කිව්වා.

මොකක්ද ඒ?

පලවෙනි එක, ඔයා ජුඩෝ ක්‍රීඩාවේම තියෙන අමාරුම විසිකිරීමේ සටන් ක්‍රමයක් හොදටම පුහුණුව ලැබුව කෙනෙක්.

එතකොට අනික?

අනික තමයි සටනකදි ඒ ක්‍රමයෙන් බේරෙන ක්‍රමය දන්න ඕනම කෙනෙකුට ඔයාගේ වම් අත තදින්ම අල්ල ගන්න වෙනවා. ඔයාගේ දුර්වලම තැනින් ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් වුනා.

ගොඩාක් වෙලාවට අපේ අඩු පාඩු හින්දා අනෙත් අයට බනිමින්, දොස් කියමින් කිරීමට හැකි යමක් හෝ තියෙද්දීත් අඩුපාඩු ගැන හිත හිතාම අපි කලකිරෙනවා. දුක් වෙනවා. අන්න ඒ හින්දම ඒ දුර්වලතාවය කවදා හරි දවසක අපේ ශක්තිමත්ම තැන කරගන්නත් අපි උත්සහ කරන්නේ නෑ. නැති දේ ගැන දුක් වෙනවට වඩා තියෙන දේ ගැන හිතමු.

''I fear not the man who has practiced 10,000 kicks once, but I fear the man who has practiced one kick 10,000 times'' - Bruce Lee

දැනුම සොයා සැරිසරන්න - http://chamikawp.blogspot.com/


No comments:

Post a Comment